Tuesday, January 9, 2018

Loris In Sri Lanka ශ්‍රී ලංකාවේ උණහපුළුවෝ




විද්‍යාත්මක වර්ගීකරණයට අනුව මිනිසා සහ වානරයින් අයත්වන්නේ ප්‍රයිමේටා ගෝත්‍රයටය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ප්‍රයිමේටාවන් විශේෂ පහක් හඳුනාගත හැකිය. මොවුන් අතරින් රිලවු සහ වඳුරරෝ මිනිසුන් සමඟ නිජබිම් සහ ගොදුරුබිම් වෙනුවෙන් නොනවතින අරගලයක නිරතවෙති.

ප්‍රයිමේටාවන් අතර කුඩාම සත්වයෙකු වන උණහපුළුවා මිනිසුන් හා සටන් වැදීමට තරම් ශක්තියක් නොමැති බැවින් මිනිස් ක්‍රියාකාරකම් හමුවේ නිහඬවම වඳවීමේ තර්ජනයට මුහුණු දෙමින් සිටියි.  එලෙස වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින උණහපුළු විශේෂ දෙකක් ශ්‍රී ලංකාවේදී හඳුනාගත හැකිය. ඒ අතුරින් තෙත් කලාපීය වැසි වනාන්තර ආශ්‍රිතව රතු උණ හපුළුවා (Red slender loris) ජීවත් වන අතර වියළිකලාපයේ සහ නකල්ස් කඳුකරය ආශ්‍රිතව අළු උණහපුළුවා (Grey slender loris) ජීවත් වේ.

ශරීරයේ ප්‍රමාණය දිගින් සෙ.මි. 11.6 ත් සෙ.මි. 17 ත් අතර  , බරින් ග්රෑම් 103 ත් ග්රෑම් 172 ත් අතර  ද වන රතු උණහපුළුවා ශ්‍රී ලංකාවට ආවේනිකය. මෙම උණහපුළු විශේෂය වර්තමානයේදී IUCN රතු දත්ත   සංස්කරණ වර්ගීකරණයට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතෙකු ලෙස නම්කර ඇත.

ශරීර ප්‍රමාණය දිගින් සෙ.මී. 23 ත් සෙ.මී. 24 ත් අතරද, බරින් ග්රෑම් 180ත් ග්රෑම් 290 ත් අතර වන අළු උණහපුළුවාරතු උණහපුළුවාට වඩා තරමක් විශාල ය.  මෙම උණහපුළු විශේෂය වර්තමානය වන විට රතු දත්ත වර්ගීකරණයට අනුව  වඳවීමට ලක්විය හැකි සත්ව විශේෂයක් ලෙස හඳුනාගෙන ඇත.

වලිගයක් පිහිටා නැති උණ හපුළුවන්ගේ මුහුණ වටකුරුය. මොවුන් නිශාචර සත්ව කොට්ඨාසයක් බැවින් පරිසරය හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිවන සේ ඇස් විශාලව ඉදිරියට නෙරා ඇත. වටකුරු වූ කන් යුගල තරමක් විශාල ය.  මුහුණේ සිට නාසය දක්වා පහළට විහිදෙන සුදු පැහැති රේඛාවක් දැකිය හැකිය. ගමන්කිරීම සෙමින් සිදුකරන උණහපුළුවන්ගේ ගාත්‍රා හතරේම පිළිමල් මාපටැඟිල්ල බැගින් පිහිටා ඇත. උණහපුළුවන්ගේ ආයු කාලය අවුරුදු 15ත්20ත් අතර වේ. උණහපුළුවෝ සිය ජීවිත කාලය ගස්මත වාසය කිරීමට ප්‍රියතාවයක් දක්වති.

මෙම උණහපුළු විශේෂ දෙක වඳවීමේ තර්ජනයෙන් බේරාගැනීමට නම්  කඩිනමින් සංරක්ෂණය කිරීම ආරම්භ කළ යුතුය. මේ සඳහා ජනතා මතයක් ඇති කළ යුතු අතර ඒ සඳහා පාසල් සිසුන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් හා පරිසරවේදීන්  දැනුවත් කළ යුතුය. ඒ හා සමගාමීව උණහපුළුවන්ගේ හැසිරීම් රටාව අධ්‍යයනය කරන අතරතුර උණහපුළුවන් පිළිබඳ සියලු තොරතුරු ගවේශනය කොට එක්රැස් කළ යුතුය. මේ සම්බන්ධයෙන් කරුණු විශ්ලේෂණය කරමින් සිටි පින්නවල සත්වෝද්‍යානයේ නිලධාරීන්ට 2015 මැයි මස 10 වන දිනය සුවිශේෂී දිනයක් විය. එදින සීගිරිය වනජීවී කාර්යාලය ගමනාන්තය කරගත් නියෝජ්‍ය අධ්‍යක්ෂ රේණුකා බණ්ඩාරනායක මහත්මිය වනජීවී කාර්යාලයට ගොඩවෙනවාත් සමඟ ගමන් වෙහෙස දුරුවූයේ එහි සිටි නිළධාරියෙකු විසින් සුරක්ෂිතව ගෙනවිත් භාරදුන් ත්‍යාගයක් නිසාය.  එම ත්‍යාගය නම් දින කිහිපයකට පෙර සීගිරි පර්වතය ආශ්‍රිත වනයේ දී ඔවුන්ට හමුවූ මවගෙන් අතරමංවූ මාස පහක් පමණ වයසැති අලුපැහැති උණහපුළු පැටියෙකුය. පැටවාගේ මව සොයාගත නොහැකි වූ නිසා වනයට මුදාහැරීම කිසිසේත් කළ නොහැකිය. එබැවින් වනජීවී නිළධාරීන් පැවසුවේ සිඟිති උණහපුළු පැටවා මැණිකක් ලෙස සුරැකිය යුතු බවය. ඒ සඳහා සුදුසුම ස්ථානය වන්නේ සත්ව සුභසාධනය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන පින්නවල සත්වෝද්‍යානය බව කාගේත් ඒකමතික තීරණය විය.

උණ හපුළුවන් සම්බන්ධයෙන් කළක සිට අධ්‍යයනයක නිරත වන නියෝජ්‍ය අධ්‍යක්ෂ රේණුකා බණ්ඩාරනායක මහත්මිය තමා වෙත ලද වස්තුව වටිනා මැණිකක් සේ සුරැකිව පින්නවල සත්වෝද්‍යානය වෙත රැගෙන ආවාය.  උණහපුළුවාගේ භාරකාරිත්වය මහින්ද හේරත් මහතා වෙත පැවරුවාය. පශු වෛද්‍යවරුන්ගේ සහ පෝෂණ අංශයේ නිළධාරීන්ගේ උපදෙස් මත ලැක්ටෝජන් කිරි මිලිලීටර් 5 බැගින් පැය දෙකෙන් දෙකට උදේ 7.00 සිට රාත්‍රී 8.00 දක්වා ලබාදෙන ලදී. දින දෙකකට පසුව උණහපුළුවන්ගේ ප්‍රියතම ආහාරය වන පළගැටියන් ද  ආහාර වේල් සඳහා එකතු කරන ලදී.

උණහපුළු පැටවා දින කිහිපයක් ගතවන විට පින්නවල සත්වෝද්‍යානයේ සේවකයන්ගේ හුරතලා බවට පත්විය. සීගිරිය ප්‍රදේශයෙන් සොයාගත් බැවින් උණහපුළු පැටියාට සීගිරියැයි නම් තැබීය. එම නම යෝජනා කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රේණුකා බණ්ඩාරනායක මහත්මියයි. සීගිරිආදරයෙන් රැකබලාගන්නේ මහින්දය. මහින්දතම නෙත් යුගලසේ පැටවා සෙනෙහසින් රැක බලාගන්නෙ පුතෙකුට මෙන් ආදරෙන් යුතුවය. මහින්දගෙ දින චරියාවෙ එක් අංගයක් වන්නෙ සීගිරිගෙ බර මැනීමයි. සීගිරිට නියමිත කෑම වට්ටෝරුවක් සකසා දී ඇති බැවින් එම වට්ටෝරුව නියමිත ප්‍රමාණයෙන් අදාල වෙලාවටම  පැටියාට ලබාදීමට මහින්ද අමතක නොකරයි. එසේම සීගිරිගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද නිරතුරුව සොයා බලයි. දැන් සීගිරි”  තරුණ වියට පා තැබූ නිරෝගී සතෙකි. ඒ නිසා මහජනතාවගේ ඉල්ලීම මත සීගිරිඋදෑසන සහ සවස් භාගයේදී මහජනතා වෙනුවෙන් ප්‍රදර්ශනයට තබා ඇත.  ලංකාවෙන් වඳවී යන දුර්ලභ සත්ව විශේෂයක වටිනා පුරුකක්වන සීගිරිගේ ක්‍රියාකාරකම් නරඹමින් උණහපුළුවන් පිළිබඳ වටිනා තොරතුරු රාශියක් දැනගැනීමට හැකිවීම පින්නවල සත්වෝද්‍යානයට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයින්ට ලැබෙන මහඟු අවස්ථාවකි.

Loris In Sri Lanka ශ්‍රී ලංකාවේ උණහපුළුවෝ

විද්‍යාත්මක වර්ගීකරණයට අනුව මිනිසා සහ වානරයින් අයත්වන්නේ ප්‍රයිමේටා ගෝත්‍රයටය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ප්‍රයිමේටාවන් විශේෂ පහක...